2013-11-23

දෙන්නං ජම්ඹු


අටංපැල අටවගන මෙතන පදිංචියට එන්ඩ කලින් ඉදන්ම අටමයි අටමියි දෙන්නා පැලක් අටවන්ඩ ඉඩ තියලා වත්ත වටේට , ඔය එක එක ජාතියේ ගහ කොළ හිටෙව්වා , දෙළුම් පැල , කරපිංච පැල , ගස්ලබු පැල , කෙසෙල් පැල , පේර පැල , ගැට පිච්ච , සමන් පිච්ච , රම්පේ පදුරු දෙකක් වගේ එක එක ජාතියේ ගස් ,

කරුමේ කියන්නේ ඔය ගස්ටික මොකක් හරි ආසානාසියක් වෙලා විනාසවෙලා ගිය එක තමා , අර මතකනෙ දවසක් මම කියුවා අපේ ''දොඩම් ගහට වෙච්ච හරිය'' ,   තව වත්තේ තිබ්බා දඩාර සයිස් ඇම්ඹරැල්ලා ගහක් අනේ ඒක කපන්ඩ උනානේ බවුන්ඩේසමට අහුවෙන හන්දා , තැඹිලි ගස් දෙකක් තිබ්බා ඒව්වායේ අතු අහල පහල වතු වලට යන හන්දා එව්වත් කපලා දැම්මා .

අන්න ඒ වාගේ තවත් දුක්ඛිත සිද්ධියක් තමා වත්තේ තිබ්බා හොද ගස්ලබු ගහකටත් උනේ, ඒ ගස්ලබු ගහ  ඔය රෙඩ්ලේඩි මළජරාවක් නෙමෙයි , අර මතකද අපි පුංචිකාලේ කෑවා මදය කහපාට දිගැටි හීන් 
ගස්ලබු ජාතියක් , එන්න එව්වා ගහක් මටත් වඩා අඩියක්දෙකක් උසට හැදිලා මල් පිපිලා ගැටයක් දෙකක් හැදිලත් තිබුනා, 

දවසක් අපේ අගුරුවාගේ සුදුපාට සුදු මල්ලිත් එක්ක රතු වෙද මහත්තයෙක් ගෙදරට වඩම්මලා අර අපේ ''විකියටත්'' කතා කරා , අර අර මාත් එක්ක බයික් එකේ පාටියකට ගිය පොර  අන්න ඌ , ඉතින් විකියට කෝල් කරනකොටත් පොර කොහෙද මන්දා හොදට අනුමත වෙනවා , ඌට එන්ඩ බැ අපිට කර ගන්න දෙයක් කරගන්න කියලා කියපු හන්දා අපි දෙන්නා , අර ගස්ලබු ගහ යටට අරු කොයි වෙලේ හරි එයි කියලා පුටු තුනක්ම අරගන වැඩේ පටන් ගත්තා , අඩිය පේන නොපෙනන ගානට එනකොට මෙන්න ආපි විකියා පිංපොං බෝලය වාගේ පොලා පැන පැන .

'' දැන් එතකොට මං කොල්ලට නැ ''

''ඉදගනින් බං ඔය තියෙන්නේ උඹගේ  කොටහ බීපං ''


'' ඔය කොට බොන්ඩ උඹ හිතං ඉන්නේ විකී මහත්තයා කවුරු කියලද ''

''කොහෙද ගිහිලා බඩ පැලිලා ඇවිත් , අනේ මේ  බොනවනං කටයි  පුකයි වහගන බීහං ''

'' හරි හරි ඉතින් උඹලට විහිලුවක් වත් තේරෙන්නේ නැනේ ''

ඔන්න දැන් ඊලගට පුටුව ගස්ලබුගහට හේත්තු කරපු විකියා , පුටුවේ කකුල් දෙකකින් ඉදගන ගස්ලබු ගහත් පුටුවත් පද්දනවා , 

'' විකියේ ඔය ගහ පද්දන්ඩ එපා බං ඕක ගැලවෙයි ''

'' මේක ගස්ලබු ගහක්ද යකෝ කොළ කොඩවෙලා , වදපීදිලා , මෙහෙම ගස් ගේ දොරකඩ තියන්ඩත් හොද නැ මූසලයි , මට මෙතන ඉන්ඩත් ඉඩ නෑ ..''

කියලා එකපාරටම නැගිට්ට විකියා අපි දෙන්නට අල්ලා ගන්ඩවත් ඉඩක් නොතියා පුටුව පස්සට විසික් කරලා කෙලලා ඇරියා උඩ පැනලා පයින් පාරක් ගස්ලබු ගහ දෙකට මැද්දෙන් කඩලා යන්ඩ , ඒ ගස්ලබු ගහත් එතනින් ඉවරයි, 


අටමිටයි මටයි හෙන උවමනාවක් තිබ්බා හොද ජම්ඹු ගහක් හිටවාගන්ඩ , අර ඉස්සර උඹල අපි කාපු ජාතියයේ ගහක් නෙමෙයි , ඒ ගහකට මං වාගේ ඇම්බැට්ට කොල්ලෙක් නැග්ගහම එක පාරින් ගහ සුද්දයිනේ , අනික  ඉතින් එව්වා සැරයි , සෙම ඇවිස්සෙනවා , බඩ පණුවෝ ඇවිස්සෙනවා අරකයි මේකයි කියනවනේ , හැබැයි මටනං කවදාවත් එහෙම වෙලා නෑ , .. එවැක්..... ඔවක් .....කියලා කටට ජම්ඹු කෑලී එන්ඩම ගුඩුස් යනකං ගස්වල නැගගන , බෙල්ල මුලටම එන කං පැල්ම දැම්මත් ,

ඔය දැං තැන් තැන්වල තියනවා නේද එක එක ජාතියේ ජම්ඹු  ගස් . මැලේෂියන් මැලේෂින් කියන්නේ ඔය , එව්වා ඔය ස්වාභාවික එව්වා නෙවෙයිද කොහෙද ක්‍රතීමව අභිජනනය කරපුවද කොහෙද . නැත්තං කොහෙන්ද අප්පේ ඔච්චර ප්‍රබේධ , අනික ගස් හැදෙන ඉක්මන , බලාගන ඉන්දැද්දි ගහ හැදිලා ගෙඩි හැදෙනවනෙ , හැබැයි රජෝ අහල පහල ගහක් නං හැදෙන්ඩ දෙන්නේ නැ ,  පොලවේ තියන රසසාරේ  උරල ගන්නවා සූරලම , ඒ ජම්ඹු ගස් මුල තියන තනකොල ගස් හිටං මැලවෙලා මැරිලා යනවා ,  මුල් දුහන්නෙත් නිකං දෙල් මුල් වාගේ . 

ඒ කොහෙම උනත් අටමිට නං  හෙන ඇම්මක්  තිබ්බා ඔය රට ජම්බු ගහක් හිටවාගන්ඩ , අටමත් ඔතනදී ඒක අනුමත කොලා තමයි , හැබැයි ඒ නැවතිල්ලේ හිතලා කාරනා දෙකක් හන්දා ,


ගෙයක් හදපු ගමන් ඒ ගෙදරට හෙවනක් ඕන , ඒකට හරියන්නේ පාස්ෆෝවඩ් කොල හැදෙන ගහක්

ගෙඩි හැදිලා බිමට බර වෙලා තියන ගහක් නං පට්ට , ගෙදරට හෙන සිරියාවයි .

ඔන්න ඔය කාරනා හන්දා අටමා  පැල තවාන් , පැළ විකුණන තැන් එහෙම දැක්කහම ඔලුව දාලා ජම්ඹු පැල තියනවද කියලා බැලුවා උනාට එහෙම තැනක නං සෙට් උනේම නැ ජම්ඹු පැලයක්,  ඔහොම ජම්බු පැලයක් හොය හොයා කාලයක් ගත උනා ,
 දවසක් මම ගියා එක ගෙදරක මෙෂින් එකක් හදන්න , කාලයක ඉදන් යන එන ගෙදරක් හන්දා ඒ උන්දලා මාත් එක්ක බොහොම හිතවත් , කොටින්ම ගෙදර මොනවා හරි විශේෂ කෑමක් රස කැවිල්ලක් එහෙම තිබුනොත්
'' මෙන්න මේක කෙල්ලට ගිහිල්ලා දෙන්ඩ ''
කියන තරමටම , අනික ඉතින් ඒ ගෙදර මොනවාම හරි වැඩක්පලක් තිබ්බත් මට කෝල් කොරලා
'' පුතේ කක්කුස්සිවලක් කප්පවාගන්ඩ කෙනෙක් නැද්ද ''
එහෙමත් නැත්තං
'' පුතේ ෆීජ් එක රැට ඔෆ් කරලා තිබ්බහම ලයිටි බිල අඩුවෙයිද ''
ඔන්න ඔය තරමටම උන්දලට මාව අල්ලලා ගිහිල්ලා තියෙන්නේ , අංකල් කාරයා ඇන්ටිව බයිට් කරන්නත් මාව තමා අල්ලා ගන්නේ ගියහම , 
'' මෙයා තුන්සිය හැටපස් දවසෙම මහනවා තමා මංජු ඒ උනාට මට තාම අමුඩ ලේසුවක් මහලා දීලා නෑ , ඇයි ඕයි හෙනද මට ලොකු මල් එම්රොයිඩර්  කරලා අමුඩයක් මහලා දුන්නා නං , හුළං වැදි වැදි ඉන්ඩ ''
ඇන්ටි ඉතින් දත්මිටි කකා 
'' ඇයි ඔහේ කුඹුරු කොරන්ඩ යන්ඩද ''
'' නැ මං කියන්නේ මගේ පැන්ෂන් එක ඉවර වෙනකං රටේම ඉන්න ගැණුන්ට අතපිහින එව්වයි , පුටු කවරයි , මහ මහ පූජා කොරන එකේ තිස්පස් අවුරුද්දක් කන්ඩ දුන්න එකාට අමුඩ ලේන්සුවක් මහලා දුන්නානං අපාගතවෙනවද ''
'' අනේ පුතේ මෙයැයිගෙන් මම රිටැයඩ් වෙන්ඩ කලින් ඉදන් ඉල්ලුවා මේසේ උඩ තියාගන මහන මැෂිමක් . ඔය නැති නාස්ති කරනවා කියලා පම්පෝරි ගැහුවට කෝ ඇරගන දුන්නද , අනේ මගේ අසරණ කොල්ලා  පලවෙනිද දෙවනිද මන්දා පඩියෙන් අරන් දුන්නා ක්‍රවුන් එකට එක්ක ගිහින් . ඒකෙත් අඩුපාඩු මනේ කියුවේ .කිසිදේක හොදක් දකින මිනිහෙක්ද , හැම වෙලේම තරහෙන් ඉරිසියාවෙන් ඉන්නේ ඒකනේ ඔච්චර ලෙඩ''
'' තමුසෙට ඉතින් ඔක්කොම කෙරුවේ පුත්තුනේ ''
ඔන්න ඔහොමයි ඉතින් එහේ තත්තේ, ඒදත් ඉතින් මම මෙෂිම හදලා අහවර කොරලා ආයුධ ටික පෙට්ටියට ඔබන ගමන් වට පිට බැලුවහම මෙන්න තියනවා බඩු , හෙව්ව ජාතියෙම ඇත්දල පාට ජම්බු ගහක් අල්ලපු වත්තේ මදි නොකියන්ඩ පළදරලා ,


මගේ ගතම් එක දික්කරගන මාලගට ආපු ඇන්ටිට  මර්සි වොයිස් එකෙන් 

'' අනේ ඇන්ටි මම හැම තැනම හෙව්වා ඒත් හම්බුනේ නැ , අන්න අර ජම්බු ගහෙන් මට පැලයක් ඉල්ලා දෙන්ඩකෝ ''

'' අනේ ඉල්ලුවොත් දෙයි, හරිම හොදයි එයාලත් මාතර කට්ටියක් , ඉන්ඩකෝ මම අහලා බලන්ඩ ''

'' ශිලෝ ....ෂීලෝ ,,,..සීලෝ ,,,.කෝ ගෙදර නැද්දෝ ...''

අනේ අපේ ඇන්ටිය බොක්ක පේන්ඩ ගිරිය පුප්පලා තාප්පෙට උඩින් සද්දේ උස්සනවා

'' ඇයි   ඇයි අයිරක්කේ ''

'' අනේ කෙල්ලේ නිදාගනද හිටියේ , අනේ මේ අපේ හිතවත් දරුවෙක් ,  ඔන්න ඔය ජම්බු ගහයට පැලයක් දෙකක් තියනවනං දෙන්ඩකො ''

'' මෙව්වැයේ ඇට පැලවෙන්නේ නැ අක්කේ , ....ම්..ම්ම්ම්ම්....ඉන්ඩකෝ බලන්ඩ අපේ මහත්තයා පැලවාගයක් හදලා තිබ්බා කාටදෝ දෙන්ඩ , මම කෝල් එකක් දීලා අහලා බලන්ඩ''

එහෙම කියලා ඒ ඇන්ටියා තුලට ගියා , දැන් අපේ ඇන්ටියා පටන් ගත්තා අසල්වැසි වැනුම

'' අනේ එයාගේ මෙයත් එයා වාගෙම තමා හරිම හොදයි , ඔන්න බලන්ඩ පුතා ඔයාට ජම්බු පැලයක් දෙන්ඩ කියලා එයා කියනවාමයි, බලන්ඩකෝ බොරුනං ''

අනේ ඉතින් අටමා දැන් පුල් ෆන් එකේ , ඇයි ඇයි යකෝ මෙච්චර කල් ‍ හොයාපු ජම්බු පැලය තව ටිකකින් ලැබෙනවනේ , අනේ ඉතින් විනාඩි දෙක තුනකින් අර සුදු ඇන්ටිය තාප්පෙට උඩින් මගේ දෑතට වැඩැම්මෙව්වා ජම්ඹු පැලයක් , ආයේ ඉතින් ඒක ඉ‍ටිකිරිස් ටිකට අර කළුපාට හයිය පොලිතින් බෑග්  එකක හිටවල එහෙම , අ‍පේ ඇන්ටියගෙන් ටියුලිප් බෑග් එකකුත් ඉල්ලගෙන අර පැලේ ඒකට ඔබාගන , ඇන්ටි කට්ටුවටම ස්තුති කරලා අටම ගෙදර ආවා . 

'' චුටී අපිට ජම්ඹු පැලයක් හම්බුනෝ මේ''

'' අනේ ෂෝක් කොහෙන්ද අප්පා''

ආයේ ඉතින් පැලේ ජාතකේ නොකියා මේකිගෙන් බේරෙන්ඩද , සම්පුර්ණ විස්තරේ කියලත් ප්‍රශ්නවල ඉවරයක් නැ .

'' මොන පාට ගෙඩිද අනේ ''

'' ගහ ලොකුයිද ''

'' ඇඹුල්ද දන් නැ නේද ''

ඔව්වටත් උත්තර දිදි උදල්ලත් උස්සගෙන වත්තට ගිහිල්ලා ගේ  හැදෙන තැනට අහු නොවෙන තැනක , වලක් හාරන්ඩ හදනකොට 

'' අනේ මෙතන දාන්ඩ ලොකු ''

'' ඔතන හරියන්නැ චූටි මෙතන හොදයි''

'' ඔයා මට ඕන තැන හිටවන්ඩ ''

'' ඔතනට තමා ගෙදර දොර එන්නේ , මිදුල මැද්දට කොරලා මේක හිටෙව්වහම මං මළදාට හට් එක ගහන්නේ ඔලු ගෙඩිය උඩද''

'' හට් ගහන්ඩ අපි මළ ගෙවල් ගන්නව යැ''

'' එ කතා වැඩක් නැ , මේක හිටවන්නේ මෙතන එතකොට කාමරේට අව්ව වැටෙන්නෙත් නැ ''

අපේ උන්දැ කරබාගන පැත්තකට උනා . මම වලක් හාරලා ගහ ඉන්දන අතරේ අපේ එයැයි  ගල් කැලී ටිකක් ලගට කරා , මම ගල් ටික ගහ වටේට රවුමට තියලා ඉවර වෙන කොට අපේ හාමිනේ වතුර බාල්දියක් අරගන ඇවිත් කොල ටික තෙමිලා යන්ඩ අත තියලා ගහට වක්කරා , 

'' ඔයා මහ නපුරු මිනිහෙක් මම කියන කිසිම දෙයක් කරන්නේ නැ ''

මම මොකවත් නොකියා උදැල්ල කරට අරන් ආපහු හැරුනා ,  තරහ මූණ මැද්දට හීනිම හීනි හිනාවක් දාගත්ත චූටි . මගේ වම් අතේ වැලමිටට ටිකක් උඩින් අල්ල ගත්තා ,  දැන් ඉතින් අපි දෙන්නටම ජම්බු සිහියම තමා.

ඔන්න ඉතින් මාසයක් දෙකක් ගියා කියමුකෝ ජම්බු ගහ හැදෙනවා එකසිය ගානට , එහෙම වේගයෙන් හැදෙන වෙන ගහක් මමනං දැකලා නෑ ,  කොටින්ම අපේ හාමිනේ ඒ දවස්වල හෙන බයේ හිටියේ , ජැක්ගේ බොන්චි වැල වාගේ මේ ගහ දිවිය ලෝකෙටම උසයයි කියලෘ ,  .....නෑ ..නෑ ... මම ඒ ගහේ බඩගාලා අතක් පයක් කඩා ගනි කියලා නෙමෙයි . මම ඔය ගහ මම දිවිය ලෝකයට ඇන්ටර් වෙලා දිවිය බඩු කෑල්ලකට ඇන්කර් එක ගහයි කියලා ,  මොකෑ එහෙම නොකරන්ඩ ඒ කාලේ ළමයි බමයි හිටියා කියලයැ . 
මටත් ඉතින් උන්දැ එහෙම හිතනවා කියලා එක පාරටම හිතුනේ නෑ , සැරින් සැරේ මන්තරයක් මතුරනවා වාගේ 

'' මේ ගහ උස යනවා වැඩියි දල්ල කඩලා දාන්ඩ අතු බෙදිලා යන්ඩ ''
ඇයි හත්දෙයියනේ වටේටම අතු දාලා වට්ටිය වාගේ හැදිලා තියන ගහේ තව කොහෙන් අතු දාන්ඩද , මොකද මේ ගෑණි දල්ලම කන්ඩ හදන්නේ කියලා හිතනකොට තමා මගේ හිතට ආවේ අපේ අම්මන්ඩිගේ යටිකූට්ටු උප්පරවැටිය.

ජම්බු ගහ හැදෙනවා , අටං මෙෂින් හදනව , අටමි මහනවා , අපිට කියලා කාමර කෑලි දෙකකුත් හිමිහිට හැදෙනවා , ඔන්න ඔහොම කාලය ගෙවිලා යනවා ,

ඔන්න ඉතින් තවත් දවසක තවත් ගෙදරකට අටං යනවා මෙෂින් එකක් හදන්ඩ , එහෙත් තියනවා පත ජම්බු ගහක් , එක ගෙඩියක්වත් ගහ හරියේ නැ , අවාරේ හින්දද කොහෙද , ගහේ කොල වල හැඩයත් , කදේ පාටටත් , අතු බෙදිලා තියන විදිහත් ටිකක් විතර අපේ ගහට වඩා වෙනස් . මම ඉතින් දැම්මා බබා පාට් එකක් ඒ ගෙදර නංගිට.

'' මේ ගහ මොකක්ද ''

'' ඔය ඇපල් ජම්බූ , .. රට... රට ජම්බූ ජතියක් , ඇපල් වලටත් වඩා රහයි ''





'' නංගි මටත් දෙන්ඩකෝ පැලයක් හරි අත්තක් හරි ''

'' අපෝ ගෙවල් අයිතිකාර ඇන්ටිගෙන් අහන්ඩ ඕන ''

'' එයාගෙන් මොනවා අහන්ඩද , ඔව්වායේ අතු නිකං හිටවලා හරියන්නේ නැ මචං , හිටහං මම අත්තක් බැදලා දෙන්නං . මාසෙකින් විතර ඇවිත් උඹ කපාගන පලයං ''

ගෙදර මලයා මහ සද්දෙන් කියාගන එලියට ආවා 
'' මේ අරගන එනවා අර පරණ කතුරයි සිලි සිලි බෑග් දෙක තුනකුයි , ප්ලාස්ටික් බෝතලයකුයි ''

'' කතුර කොහෙද දන්නැ ''

'' ඉතින් හොයනවා ''

'' තමුසේ හොයා ගන්නවකෝ ''

'' ඇයි ඕයි මම ගෙදර ඉන්නේ එක දවසයි , තමුසෙ නේද දැනගන්ඩ ඕන ගෙදර තියන බඩු ගැන ''

'' ඉතින් ඉරිදටත් වැඩට යනවකෝ අපිට කනක් ඇහිලා ඉන්ඩ..''

නංගිත් අරින පාටක් නැ , මොනවා උනත් කොල්ලා හොද එකෙක් කියලා මට හිතුනා , පොර පොරගේ පුතාගේ මාළු ටැංකිය යට අවුස්සලා එලියට ගත්තා . අර ඔක්සිජන් පම්ප් එකට දාන බටයක් , හුලං අඩු වැඩි කරන කරාමයක් එක්ක . එතකොටම පොරගේ හාමිනේ  ඉල්ලපු ආම්පන්න අරගන ඇවිත් පොරට දික්කරා.

'' මේ මොනවද ඔයි බත් කොල වාගේ පොලිතිං , අරං එනවා හයිය එකක් . ... ආ        ....මේ... අර ..මල් ගස්  වලට දාන්ඩ ගෙනාපු  කොහු බත් ටිකකුත් අරන් එනවා''


'' අනේ හොයාගන්නවකෝ , නිදහසේ ඉන්ඩ දීලා ''

'' ඔය බලහං මුන්ගේ කම්මැලිකම ''

කියලා පොර ගේ පිටිපස්සට ගිහින් කොහුබත්  මල්ලක් එක්ක කම්බි රෝලක් උස්සගන ඇවිත්  බිමට අත ඇරලා , කතුර අරගන  පරණ ප්ලාස්ටික් බෝතලය පිටි පස්සෙන් කපලා හිලක් හදලා ඒක කම්බි කෑල්ලකින්  ගැට ගහලා , මුඩියෙත් හිලක් හදලා ඒකට අර බටය ගහලා , ටැප් එකෙන් වතුර එකක් පුරවලා අර පුංචි කරාමයෙන් ඉදලා හිටලා වතුර බින්දුක් වැටෙන විදිහට එජස් කරලා උඩ අත්තක එල්ලලා ,පහල අත්තකට අර පොලිතින් බෑග් එකකට කොහුබත් ටිකක් පුරවලා ගෙඩිය වගේ හිටින්ඩ බැදලා. ගේ පැත්තට හැරිලා

'' මේ මල් වලට වතුර දානකොට මේකටත් දානව හරිද ''

ම් හු පවුල පේන්ඩවත් නැ

'' ඒකත් මටම තමා කරන්ඩ වෙන්නේ , මචං මේ පැත්තෙන් යන එන වෙලාවක මුල් ඇදලද කියලා බලාගන යන්ඩ ''

කියලා පොර කියුවට මොකද මට යන්ඩම උනේ නැ , ටික දවසකට පස්සේ පොරම මට කොල් කරලා  ඇවිත් අරගන යන්ඩ කියලා කියුවට පස්සේ දවසක ගිහිල්ලා අර කොහුබත් බැදපු තැනට පහලින් අත්ත කඩාගත්තා , පොලිතින් එක හිල් වෙලා එලියටත් මුල් පැනලා තියන විදිහ දකිනකොට මට ඉතින් හෙන ආතල් , මගක් දුරක් එන කොට මට හිතුනා අර ගහයි මේ ගහයි දෙකම එකක් උනානං කොහොමට හිටිද කියලා ,  එක පැත්තක රතු ජම්බු අනිත් පැත්තේ සුදු ජම්බු ආයේ ඉතින් පිස්සු පීකුදුනේ .

ඒ වෙනකොට අපේ ගේ කෑල්ලට අපි පදින්චියට ඇවිත් උනාට ඔය අක්කි බතුවවත් හම්බෙලා නැ , අයේ ඉතින් දැන් වගේ නෙමෙයි ඉදිකට්ටයි නුලයි වගේ තමා අපි දෙන්නා හිටියේ , දැන්නේ ඉතින් මේකිල දෙන්නා එන්නේ අම්මා මගේ තාත්ත මගේ කියලා මැද්දේ බුදියන්ඩ , කොහොමහරි මම ගෙදරට ආවා කියමුකෝ , බයික් සද්දෙ ඇහෙනකොට අපේ උන්දැ දුහගන ආවා ඉස්සරහට .

'' මොකක්ද ලොකු ඔය පැලේ ''

'' ජම්බු ''

'' තව ජම්බු ගස් මොකටද ''

'' මේක රතුපාට එකක් ඇපල් වාගේ රහයිලු ''

'' අරක සුදුපාට නේද ''

'' හම් ''

'' එහෙනං ඕක මෙතන හිටවමු ''

'' නැ මේකත් අතනම හිටවමු ''

'' අපෝ එපා එපා ගස් දෙකම හැදෙන එකක් නැ ''

'' එක තැන ගස් දෙකම හැදුනහම එලට තියෙයි''

'' තියෙයි තියෙයි අනේ ඕන එකක් කරගන්ඩ මං යනව තේ හදන්ඩ මං කියදේ කරන්නේ නැනේ''

ඔන්ත ඉතින් අටමා ඒ ගහත් එතනම හියෙව්වා . දැන් ගස් දෙකම එකකට හොදට  හැදෙනවා , හැබැයි පස්සේ ඉන්දවපු රතු ජම්බු ගහේ කද පොඩ්ඩක් හීනියි , දවසක් ගෙදර උන්න දවසක හවස් වරුවේ ( වෙඩිමකට ගිහිල්ලා පොඩ්ඩක් අනුමත වෙලා ) ඇවිත් සිකරට් එකක් ගහගන වත්තේ ඇවිදන අතරේ ජම්බු ගහ දැක්කහම ම‍ට ආවා මරු අයිඩියා එකක් ,

පොඩි ජම්බු  ගහ ලොකු ජම්බු ගහට බට් කරානං මරු නේද කියලා , දෙපාරක් නොහිතපු මං ගේ ඇතුලට ගිහින් අරන් ආවා මේස පිහිය එක්ක පොලිතින් රෝල් කැල්ලක් , ඉස්සෙල්ලම මහ ගහේ පැත්තක පොත්ත හීනි පටියක් වාගේ හිටින්ඩ ගැහුවා ගහේ කදත් එක්කම , ඒ හරියේ තිබ්බ පුංචි අතුත් ගහෙන් වෙන්වෙලා යන විදිහට . අර රතු පාට පොඩි ගහෙත් පැත්තක පොත්ත ගැහුවා , දැන් ගස් දෙකම අඩි එක හමාරක් දෙකක් විතර රැහැලා , ගේ පිටි පස්සේ තිබ්බ ''වන්නෝට්ෆෝෆෝ'' වයර් එකක් අරගන ඇවිත් කපාපු මුහුණත හොදට තදවෙන විදිහට අර වයර් එකෙන් බැදලා . පොලිතින් එක ඔතලා ගෙට ඇවිත් හපන්කම කියුවා අටමිට , ජනේලෙන් එලියට ඔලුව දාලා බලපු අටමි .

'' දැන් ඔය ගස් දෙක හා වෙනවද ''

'' ඔව් ''

'' මගේ ජම්ඹු ගහ මැරිලා තිබ්බොත් බලාගන්නං කෝ ''

'' කාගෙද කාගෙද ''

'' ඇයි මගේ ''

'' ආ ඇත්තද ''

'' හරි හරි ජම්බු ගහ ඔයාගේ තමා . ඒ උනාට ඔයා මගේ නේ , එතකොට ජම්බු ගහ නිකම්ම මගේ තමා ''

කොහොමද අටමිගේ මොත්තේ

පස්සේ පස්සේ වැඩේ ජොන්බාස්ට යයිද කියලා අටමට පොඩි භයකුත් නාවා නෙමෙයි . හැබැයි එක කොලයක්වත් හැලුනේ නැ . මාසයක් හමාරක් ගියහම දවසක අපි දෙන්නා එක්ක පොලිතින් එක ලෙහලා බැලුවා , හරි අපුරුවට ගස් දෙක එකට සෙට් වෙලා , පිට පොතු දෙක එකට එකතු වෙලා ගැට්ටක් වාගේ හැදිලා තිබ්බා ,  තවත් ටික දවසක් තියලා මං හිමිහිට කියතකින් රතු පාට පොඩි ජම්බු ගහ වාර දෙක තුනකදී පොඩ්ඩ පොඩ්ඩ  මුලෙන් වෙන් කරා . හැබැයි බැදලා තිබ්බ වයර් එක අයින් කලේ පොත්තේ මස කාගන  වයර් එක ගහ අස්සට ඇදුනටත් පස්සේ , ටික දවසක් යනකං රතු ජම්බු ගහේ මුලින් ආපු අතු ටිකත් නොකපා තිබ්බා බැරි වෙලාවත් බට් කරපු එක ඇලියාවට යයි කියලා ,

ඒත් එහෙම නොවුන නිසා මුලේ කොටසක් එක්ක ඒක අයින් කරලම දාලා ටික දවසකින් සුදු ජම්බු ගහේ මල් ආවා , ඒ උනාට රතු පාට අත්ත කිසි කතා බහක් නැ . ටික දවසකින් ආවා කියන්ඩකෝ පිණි ජම්බු ගෙඩි වලටත් වඩා ලොකු ගෙඩි අතු බිමට බර වෙන්ඩම , ලාවට වාගේ පිනී ජම්බු රහත් තියන ඇඹුල් නැති , පිපීඤඥ වාගේ ජම්බු ගෙඩි , අපේ ලොකු අයියා කාරයයි  මමයි දෙන්නා සෙට්  වෙච්ච වෙලාවක නිමල් ලොක්කටත් කතා කරලා පොර තව එකක් උස්සගෙන ඇවිත් මම බයිට් හොයාගනඑන්ඩ යන්ඩ යදනකොට උන් දෙන්නා .

''ඔන්න ඔය ජම්බු ගෙඩි ටිකක් කඩලා , ලාවට ගම්බිරිස් , ලුණු කුඩු ටිකක් දාලා ගනින් ''

කියුව දවසේ තමා මං දැන ගත්තේ එව්වායේ තියන වටිනාකම , යකෝ පට්ට බයිට් එක ,  අනේ ඉතින් එදා ඉදන් ඉදලා හිටලා සෙට් උනොත් ඉතින් අපේ උන් කියන්නේ

'' ගහේ තියනවානං ජම්බු ටිකක් අරගන වරෙන් ''

කියලා තමා , මොකද අපේ ඉන්න උන් එකෙක් හරකට කැමති නැ . අනිකට ඌරා අරහං . තව එකෙක් මාළු කනවා ඉස්සො දැල්ලො දිහා බලන්නේ වත් නැ , දෙන්නෙක් නිර්මාංශයි  , දෙතුන් දෙනෙක් චිකන් විතරයි , ඉතින් වාරෙට ජම්බු වැඩේ නැගලා යනවා , ඔන්න ඔහොම වාර දෙක තුනක් සුදු පාට ජම්බු හැදුනා , මෙන්න දෙයන්ට පිං සිද්ද වෙන්ඩ ඊලග වාරේ , රතු පාට ගහෙත් මල් හට ගත්තා , සති දෙකකින් විතර බලන්ඩ ලස්සනේ බැ , එකපැත්තක රතු පාට ගැට අනිත් පැත්තේ සුදු පාට ගැට , එකින් එක ගෙඩි ඉදෙන කොට තමා  අටමට තේරුනේ ගහ ඉල්ලගෙන ආව ගෙදර කම්මැලි නංගි කියපු කතාව ඇත්ත මේක දිවිය ලෝක රහයි . ඇපල් පරාදයි . අහල පහල ළමා ලපටි පොර කකා කනවා , හැබැයි සුදු එව්වා අපිට ඉතුරු කරනවා , දැන් මේක කප්රුක වාගේ , කිරි බද්දන්ට රතු ජම්බු . බේබද්දන්ට සුදු ජම්බූ .

ඔහොම ඉතින් කාලේ හෙමින් හෙමින් ගෙවිලා ගියා , අපිට බබෙක් ගේන්ඩ ඕන කම තිබ්බත් අපේම වහලයක් යටට ගෙන්ඩ තිබ්බ උවමනාව නිසා ගෙදරට ගෙනාපු පුංචිම පුංචි පෙත්ත ගේන එක නවත්තලා දාන්ඩ අපි තීරනය කලා . අවුරුදු ගානක් කරපු වැඩක් හන්දා ගේන්ඩ හදන කෙනා ගැන හිතලා මාස දෙක තුනක් උම්මා කරන එකත් අපි නවත්තලා දැම්මා .හිතේ සැකය හොදටම දුරු උනාට පස්සේ සුපුරුදු අඩව් ඇල්ලිල්ට යොමු වෙලා මාස එක හමාරක් විතර වෙන කොට සුපුරුදු වෙනස් කමක් අටමිට නොවුන නිසා වැඩට යන ගමන් කුප්පියකුත් අරං රිංගුවා සැන් පීටරස් ලැබ් එකට , හවසට ගෙදර එන ගමං පොරොතිපල කොලය ගන්ඩ හිතාගන ගියත් එතන උන්න ගෑණු ළමයා පැය බාගයක් ඉදගන ඉන්න කියාපු හින්දා ඉදගන ඉදලා , උන්දැ හිනා වේගන එලියට එන කොට මට නිකම්ම නැගිට්ටුනා .

'' පළ වෙනි බබා නේ ''

'' මම කට කනට ඇදගන හිනා උනා''

'' මට හිතුනා . රිපෝට් එක පොසිටිව් ''

වැඩට යන එක පැත්තක තියලා . ආපහු හරවගන මම ගෙදර දුහගන ආවා . එදා ඉදන් අනේ මාස අටක් විතර අපේ උන්දැගේ පාට පාට හීන , මගේ  හීන පාටකූරු වලින් පාට කොරනවා ඇරෙන්ඩ ‍වෙන වැඩක් තිබ්බේ නැ .

ඒ මදිවට හොදම හරිය කියන්නේ , අටමිට මෙලෝ මලදානයක් කන්ඩ බෑ වමනේ යනවා , හතර පස් වතාවක් ඉස්පිරිතාලෙත් උස්සාගන දිහුවා වමනේ නවත්තන්ඩ. හැබැයි මේකිට ජම්බු පැලෙන්ඩනං කිසි අප්පිරියාවක් තිබ්බේ නැ . සුදු රතු වෙනසක් නැතුව හොදට ඇඹරුව , ඒ තිබ්බ කෑම අප්පිරියාවයි , වමනේ යෑමයි , ජම්ඹු පිරියාවයි එක්ක බලනකොට ඔය අපේ අක්කිබතුවා  තනිකරම හැදුනේ ජම්බු වලින්ද කොහෙද , ඒකිත් ඔය කෑමක් කියලා ඉස්සෙල්ලම කෑවේ අම්මගේ කිරි ඇරුනහම රතු පාට ජම්බු ගෙඩියක් තමා , ජම්බු කාලමද කොහෙද ලොකු වෙච්ච එකීට අපේ අම්මලා අටමිගේ අම්මලා කියන විදිහේ කිසිම ආපත්තියක් නං උනේ නැ ,

දැන් ඉතින් මගේ ජීවිතේ එක කොටස් වෙලා ඉවරයි ඔය ජම්බු ගහ , නිකං ඉන්න වෙලාවට ඕකට සාත්තු කරන එක තමා මගේ රස්සාව . ඒ වෙන කොට ජම්බු පැලයක් ඉල්ලන උන්දලට පැලයක් හදලා දෙන්ඩත් මම හොද ක්‍රමයක් හොයාගන තිබ්බා . වැඩිය ආලවට්ටං සුකුරුත්තං නැ , පොහොර පස් ටිකක් රෙදි කෑල්ලකට තියලා අත්තකට බදිනවා , බැන්ද තැනට යටින් අත්ත වටේ පොත්ත ගහනවා , පිණි දියෙන් රෙද්ද තෙමිලා මුල් අදිනවා , ඉල්ලපු කෙනාට එන්ඩ කියලා අත්ත කපලා දෙනවා ,


                    ඉතින් ඔහොම යනකොට දවසක් තවත් ගෙදරක මම දැක්කා අපේ වාගෙම ජම්බු ගහක් හැබැයි ගෙඩි කොළ පාටයි.ඒක දැක්කහම මට ඉවසුම් නැතුව ගියා , මං ගාව තියන වර්ග දෙකටම වඩා මේක හරිම සිත් ගන්නා සුළුයි.




මැෂිමක් හදන්ඩ ගෙදරකට ගියහම තේ එකක්වත් නොබොන මට ඒ වෙනකොට හොදටම ජම්බුගාය උත්සන්න වෙලා තිබුනේ , ඒ ගෙදර කට්ටිය  පට්ට හයි ක්ලාස් සෙට් එකක් , ඉල්ලුවට නොදෙන බව දැන දැනම මම කියුවා 

'' මං ගාව තියනවා මේකේ සුදු පාට එකයි . රතු පාට එකයි , තරහා නැතුව මට මේකෙන් අත්තක් හදලා දෙනවද ''

'' අපි ඕක ගෙනාවේ එක්සිබිෂන් එකකින් ලොකු ගානක් දීලා , ඔවා එහෙම පැල කරන්න බෑ , පිට රටවල් වලම නර්සරිවල පැල කරලා ගෙන්නංනේ ''

'' අත්තකට පස් තියලා බැන්දහම මුල් අදිනවා ''

හම්මේ ඒ ගැණිගේ තියන ගනකම වචනයක් නොකියා ගෙට ගියා , ඔහොම උන් දැක්කහම මගේ අත ඇරලා යන සිරිතක් නැ . එහෙම මනුස්සකමක් නැති තැනදි කොහොම හරි මගේ වැඩේ ඒ ක්‍රමයටත් එහාට ගිහිල්ලා කරගන්න නරක පුරුද්දක්  මට තියන හන්දා , ආයුධ මල්ලට අත දාලා ගොල්ෆෝ බ්ලේඩ් එක අතට ඇරගන දඩ බඩ ගාලා අත දිග හරියේ අතු වලයි කදෙයි එළියට දාලා තිබ්බ අංකුර ගොබෙයි පහක් හතරැසට උගුල්ලාගන කමිස සාක්කුවට ඔබාගන , බයික් එකට නැගලා ඒ ගෙදර ගේට්ටුවත් ඇරලා දාලා හනිකට ගෙදර ඇවිත් . අපේ ජම්බු ගහේ  සුදුසු තැන් බලලා ඒ ඒ ගානට පොත්ත අහක් කරලා  . උස්සං ආපු පොතු කෑලි ටික ගහට එබලා . ෂොෆින් බෑග්  කෑලි වලින් බැදලා දැම්මා , සති තුනකට විතර පස්සේ ලෙහලා බලනකොට , අනිත් හතරම මැරිලා රතු පාට ජම්බු අත්තට බට් කරපු 
අංකුරයක් හොදට ගහට සවිවෙලා . ලාකොළ පාටට මැද්දෙන් ඉස්සිලා තියනවා දැකලා අටමිටයි අක්කි බතුවටයි පෙන්නලා .

'' දැන් දෝණියෝ අපිට තව ටික දවසකින් කොළ පාට ජම්බත් කතහැකි ''

නුදුරු අනාගතේ කොල පාට ජම්බු කන එක ගැන හීන මැව්වා , එතනින් හීනියට කොළයක් දෙකක් නැගලා එන කොට ඒකට හැදෙන්ඩ ඉඩ ලැබෙන්ඩ කියලා අහල පහල තියන අතු ටිකත් පාහලා දැම්මා , අනේ කිසිම අතුරු ආන්තරාවක් නැතුව ඒකත් හැදෙනවා , අටමට ඒ අත්ත බරට ගහෙන් වෙන්වෙයි කියලා හිතුන හන්දා ලණු කෑල්ලක් බැදලා උඩ තියන අත්තක එල්ලුවත් එක්ක .

අනේ ඉතින් දවසක් අටමා බඩගෝස්තරේ හොයාගන එන්ඩ ගිහිල්ලා ගෙදර එනවා , වත්තට ඇතුල් වෙනකොටම මොකක්දෝ ලොකු වෙනසක් දැනුනත් ඒක එක පාරටම අදුරාගන්න බැරි උනා , බයික් එකෙන් බැහැලා දොරකඩට එනකොට තමා අටමට වෙලා තියන දේ තක්කෙටම තේරුනේ , යටි බඩ හරියෙන් උඩට ආපු මොකක්දෝ මන්දා පපුව මැද්දේ හිරවෙලා හුස්ම ගන්ඩ බැරුව යනවා වාගේ හැගිමක් ඇවිත් මොහොතකට අටමව සීතලවෙලා ගල් ගැහිලා ගියා , ඒත්  එක්කම මළයක්ෂයෙක් වාගේ අටමා ගේ අස්සට පැන්නා , අටමව දැක්ක ගමන් අටමී 


'' ඉන්න ...ලොකු... වතුර ලිපේ මම ඔයාට තේ එකක් හදලා දෙන්නං ''

                                              '' තේ නෙමෙයි මට දීපං වහ ටිකක් ''

'' වෙඩි වැදිලා වාගේ කෙලින් වෙච්ච අටමි පුදුමයෙන් මා දිහා බැලුවා ''

'' මොකක්ද යකෝ අර කරලා තියෙන්නේ , ඇයි මගේ රතු ජම්බු අත්ත කැපුවේ ''

මගෙත් ඇගේ හැප්පීගන එලියට දිහුව අටමී ඊටත් වඩා වේගයෙන් ආයෙත් මා දිහාට දුහගන ආවා , 

'' අනේ සමාවෙන්ඩ රත්තරනේ තාත්තා මට කියුවා ජම්බු අතු ටිකක් කපලා දැම්මානං  දෙළුම් ගහ හොදට හැදෙයි කියලා , මම ඉතින් හා කියුවා , මමත් දැනුයි දැක්කේ රතු අත්ත කපලා කියලා ''

'' ටිකෙන් ටික කෙන්තිය වැඩි වෙලා දත්මිටි කැවෙන මගේ ඇස් දෙකට ඒ වෙලාවේ වැටුනේ පිගං රාක්කය යට තට්ටුවේ තිබුන තද දම්පාට ජම්බු  කහට බැදිච්ච  මන්නය ''

'' කොළ පාට අත්තත් ඒකෙමයි තිබ්බේ , මීට වඩා හොදයි මේකෙන් මගේ බෙල්ලට කෙටුවානං ''

කියාපු මම මන්නයත් අරගන අඩියට දෙකට ඉතුරු වෙලා තිබ්බ සුදු ජම්බු ගහ ලගට ඇවිත් ගහට කොටාගන කොටාගන ගිහින් ගහ බිමට පත බෑ උනාට පස්සේ ගේ ඇතුලට ඇවිත් මන්නය මේසය යටට විසික් කරලා 

'' මින් මනත මම මේ වත්තේ ගස් හිටවන්නේ නෑ ''

හෙවනට පුරුදු වෙලා තිබිලද කොහෙද සතියකට විතර පස්සේ  දෙළුම් ගහත් වේලිලා ගියා


( අදටත් ඒ ජම්බු කොටය මෙන්න මේ විදිහට තියනවා මගේ හිත පාර පාර )




මෑතකදී අක්කිබතුවා නංගිබතුවත් එක්ක කඩෙන් ගෙනාපු ජම්ඹු කකා ඉන්න කොට 

'' චූටි ඉස්සර අපිටත් තිබ්බා ජම්බු ගහක් තාත්තී ඒක කැපුවා ''

කියාපු හන්දා මම මගේ තීරනය වෙනස් කරලා , මම ජම්බු ගහක් හදලා දුන්න තැනකින් පැලයක් හදවාගෙන ඇවිත් ආයෙත් වත්තේ හිටෙව්වා ,  ඒක රතු පාට ජම්බු හැදෙන ගහක පැලයක් , දැන් ආයේ කොළ පාට සහ සුදු පාට ගස් දෙකකුත් හොයාගන්න ඕන .



මෙන්න තියනවා ඒක


...........................................................................................................................

( පෙර වදනද පසු වදනද මන්දා )



මට මහ ජරා සීන් එකක් බංලා උනේ , පෝස්ට් එක ලියන්න කලින් ‍ෆොටෝ ටික අප් ලෝඩ් කරගත්තා , ඩොකා ආවා කියලා කෝල් එකක් ආව හන්දා ,බබාව ඩොකාට පෙන්නන්ඩ යන්ඩ ඒත් එක්ම නැගිට්ටා සේව් වෙනුවට පබ්ලිෂ් එබුවේ , ඕන රෙද්දක් ඇවිත් කොටලා දානවා කියලා ඒ වැඩේ කරගන ඇවිත් සම්පුර්ණ පෝස්ට එකම කෙටුවා . සාමාන්‍යයෙන් මම ලියනවාටත් වඩා ටිකක් දිගට . ඔක්කොම ලියලා ඉවර කරලා අකුරු හරි වැරදි බලලා පබ්ලිෂ් කරනවා කියලා හිතලා . අප්ඩේට් නොකර ඒ ටැබ් එක එහෙම්ම ඕපන් කරලා තියලා , පරක්කු වෙන හන්දා බස් රේඩියෝ එකට ගොඩ උනා විචාරකගේ කතාව අහන්න , අමතක වෙලා ඒ ටැබ් එක මම ක්ලෝස් කරා බංලා , සේව් කරේවත් අප්ඩේට් කරේවත් නැති හන්දා  පැය දෙක තුනක් අමාරුවෙන් කොටාපු පොස්ට් එක මාව දාලා ගියා, 

ආයේ ඒ වාගේ නං ලියන්න බැරි උනාද කොහෙද ,ආයෙත් පුළුවන් විදිහකට වරින් වර කොටලා තමයි මේටික දැම්මේ , මට වෙන්නේ ඔහොම වැඩම තමා කරුමෙට කකුල්තුනයි කියනවනේ  , වෙච්ච දේට එන්න සෙයියදු

4 comments:

  1. එක හුස්මට කියවගෙන ගියා.. අපූරු කතාව..

    ReplyDelete
  2. මදැයි, උඹ අදත් මගේ නිවාඩු දවස කෑවා , අයෙ එන්නේ නෑ මේ පැත්ත පළාතේ ලබන ඉරිදා වෙනකන්

    ReplyDelete
  3. අපොයි අපරාදේ ඉතුරු වෙලා තිබ්බ ජම්බු ගහ

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>